TechnoPlus Automation

Thursday, July 24, 2014

෴෴ නෙට් මීටරින් Net Metering (ජාලගත මානනය)෴෴

                                                    මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ගෘහස්ථව සහ ආයතනික වශයෙන් සුළු හෝ මහා පරිමාණව සූර්ය පැනල මගින් විදුලි බලය ජනනය ව්‍යාප්ත වීමත් සමග ලංකා විදුලි බල මණ්ඩලයෙන් සහ ලංකා විදුලි පුද්ගලික සමාගමෙන් හඳුන්වා දුන් නව මනු කියවුම් ක්‍රමවේදයක් තමයි නෙට් මීටරින් කියන්නේ...සූර්ය ශක්තියෙන් විදුලි ජනනය දහවල් කාලයේදී පමණක් සිදුකල හැකි නිසා මේ ක්‍රමය වඩාත්ම වැදගත් ‍වෙන්නෙ සූර්ය ශක්තියෙන් විදුලිය ජනනය කරන අයට...ඒ වගේම කුමන හෝ ක්‍රමයකින් ජාතික විදුලිබල පද්ධතියේ පිරිවිතරයන්ට අනුව විදුලිය නිපඳවන අයටත් මෙම නෙට් මීටරින් ක්‍රමයට මනු කියවුම් සේවය ලබාගන්න පුළුවන්...

            මෙම නෙට් මීටරන් ක්‍රමයට මනු කියවීමේදී ඒ සඳහා විදුලිබල මණ්ඩලයෙන් නව කිලෝවොට් මීටරයක් සවිකරනවා...මේ තියෙන්නේ ඒ වගේ මීටරයක්...මෙහි Delivered Power යනුවෙන් ජාතික විදුලි පද්ධතියෙන් අපට ලබාදුන් විදුලි ඒකක ගණනත්, Received Power යනුවෙන් ජාතික විදුලි පද්ධතිය අපෙන් ලබාගත් විදුලි ඒකක ගණනත්, Net Power යනුවෙන් Delivered power අගයෙන් Received power අගය අඩු කිරීමෙන් ලැබෙන ඒකක ගණනත් දැක්වේ...විදුලි බිල ගණනය කරන්නේ එම Net Power අගයට අනූව වේ...

    ඒ වගේම අප නිවෙස්වල භාවිත වන සාමාන්‍ය කිලෝවොට් මීටර දෙකක් භාවිතා කරලත් මේ කාර්යය සිදුකරගන්න පුළුවන්...දැනට ලංකා විදුලිබල මණ්ඩලය යොදාගන්නේත් මෙම ක්‍රමයයි....පහත සඳහන් ආකාරයට එයින් එක් මීටරයක් සාමාන්‍ය පරිදි නිවසට යොදනු ලබන අතර අනෙක් මීටරයේ ප්‍රදානයට Grid Tie Inverter උපකරණයත්, ප්‍රතිදානයට ජාතික විදුලි බල පද්ධතියත් සම්බන්ධ වන ලෙස යොදනවා...එමගින් අප විදුලිබල මණ්ඩලයෙන් ලබාගත් විදුලි ඒකක ගණන පළමු මීටරයේත් අප විදුලිබල මණ්ඩලයට ලබාදුන් ඒකක ගණන වෙනමත් සටහන් වෙනවා...


                                                     
     ඒ අනුව මාසේ අන්තිමට මනු කියවීමේදී අප ජාතික පද්ධතියට ලබාදුන් සහ ලබාගත් විදුලි ඒකක ගණන අතර වෙනස ලබාගෙන එම විදුලි ඒකක ගණන  ඇසුරින් විදුලි බිල ගණනය කෙරෙනවා...එහිදී  ගෙවීම් සිදුකලයුතු වන්නේ අප ඉහත කී වෙනසට අදාල ඒකක ගණනට පමණයි...එනම් අපි වැඩිපුර ලබාගත් විදුලි ඒකක ගණනට පමණයි...

     උදාහරණයක් ලෙස අප ජාතික විදුලි පද්ධතියට ඒකක 60ක් ලබාදී  ඒකක 120 ක් ලබාගෙන  ඇත්නම් විදුලි බිල සඳහා අදාල වන්නේ  ඒකක 60ක් පමණයි...ඒ සදහා වැයවන්නේ රු .371.85/= ක් පමණයි...(2014/07/07 දිනට ලංකා විදුලි පුද්ගලික සමාගමේ බිල්පත් ගණකයට අනූව )...

    ඒ වගේම අපි ජාතික විදුලි පද්ධතියට ලබාදුන් ඒකක ගණන හා ජාතික විදුලි පද්ධතියෙන් ලබාගත් ඒකක ගණන සමාන නම් විදුලිය සඳහා ගෙවීමක් කළ යුතු වන්නේ නෑ...

   මෙහි ඇති තවත් වාසියක් නම් වැඩි ධාරිතාවකින් යුතු සූර්ය පැනල යොදාගෙන නිවසේ පරිභෝජනය කරන විදුලි ඒකක ගණනටත් වඩා වැඩි ඒකක ගණනක් මසකට උත්පාදනය කරයි නම් එම වැඩිපුර උත්පාදනය කරන ලද ඒකක ගණන ඊළඟ මාසයේ මනු කියවුමට ඇතුලත් වෙනවා....ඒ ලෙස මාසෙන් මාසෙට එකතු වන ඒකක ගණන බැංකු ගිණුමක මුදල් තැන්පත් කරනවාක් මෙන් දිගින් දිගටම එකතු වෙමින් පවතිනවා....එලෙස එකතු වූ ඒකක ප්‍රමාණය ඕනෑම කාලයක නැවත භාවිතයට ගන්න පුළුවන්....

       මේ නිසා සූර්ය විදුලි බල පද්ධති හිමිකරුවන්ට විශාල වාසියක් අත්වනවා...මන්ද හිරු එළිය ඇති දිවා කාලයේ විදුලිය නිපඳවා ගෘහස්ථ පරිභෝජනයට ගෙන ඉතිරි වන ප්‍රමාණය ජාතික විදුලි පද්ධතියට ලබාදී , ඒ වෙනුවට රාත්‍රී කාලයේදී ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබා ගත හැකියි...සුර්ය ශක්තියෙන් බැටරි ආරෝපණය කිරිමට අවශ්‍යතාවයක් ඇති නොවන නිසා බැටරි ආරෝපණය කිරීමේදි සිදුවන ශක්ති හානියත් අවම කරගන්න පුළුවන්...ඒ වගේම බැටරි මිලදී ගැනීම සඳහා වැයවන මුදලති ඉතිරි කර ගත හැකියි....

    නමුත් මේ සඳහා විශේෂිත අපවර්තකයක් (Inverter) යොදා ගත යුතුයි... Grid Tie Inverter යනුවෙන් හැඳින්වෙන එම අපවර්තකය ලංකා විදුලිබල මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූල විය යුතු අතර විදුලි බල මණ්ඩලය විසින් නිර්දේශ කරන ලද Grid Tie Inverter උපකරණයක් විය යුතුයි...නෙට් මීටරින් හෙවත් ජාලගත මානනය පිළිබඳ දැනුවත් වීමට ඉහත කරුණු ප්‍රමාණවත් යැයි සිතමි...එහෙයින් Grid Tie Inverter පිළිබඳ නව ලිපියකින් හමුවන අදහසින් අදට සමුගනිමි...


ඉතින් මගේ තෙවන පෝස්ට් එකේ අපැහැදිලි තැන්,ප්‍රශ්ණ ගැටළු, යෝජනා චෝදනා හැමදෙයක්ම කමෙන්ට් එකක් විදිහට දාල යන්න....එය මටත් ඉදිරියේද පලවන පෝස්ට් වලටත් මහත් රුකුලක් වේවි....
                                                                                                                ඔබ සැමට ජය   !!!