TechnoPlus Automation

Saturday, May 31, 2014

෴෴Solar Charge Controller හෙවත් ආරෝපණ පාලකය෴෴

                                                     බ්ලොග් එකේ දෙවන පෝස්ට් එකෙන් Solar Charge Controller උපකරණ ගැන හැඳින්වීමක් කරන්න හිතුව... Lead-Acid Battery හෝ  Deep Cycle Battery වැනි බැටරි යොදා ඒ ඇසුරින් ක්‍රියාත්මක වන සූර්ය කෝෂ පද්ධතියකට Solar Charge Controller උපකරණයක් අත්‍යවශ්‍ය යි...Solar Charge Controller උපකරණය මගින් සිදු කරන ප්‍රධානතම කාර්යය නම් සූර්ය පැනලය මගින් ලැබෙන විද්‍යුත් ශක්තියෙන් නියමාකාරයට බැටරිය ආරෝපණය කිරීම හා බැටරිය මගින් යම් යම් උපකරණ ක්‍රියාත්මක කිරීමේදී බැටරිය නියමාකාරයෙන් විසර්ජනය කිරිමයි...




                                                              Pulse Width Modulation (PWM) සහ Maximum Power Point Tracker (MPPT) ලෙස යොදාගනු ලබන තාක්ෂණ අනූව Charge Controller වර්ග දෙකකට බෙදන්න පුළුවන්...ඒ අතරින් (MPPT) වර්ගයේ කාර්යක්ෂමතාව (PWM) වර්ගයේ කාර්යක්ෂමතාවට වඩා වැඩියි...ඒ වගේම මිලෙනුත් ටිකක් වැඩියි...තවද බොහෝමයක් Charge Controller 12V හා 24V යන වෝල්ටීයතා දෙකටම ගැලපෙන අයුරින් නිර්මාණය කර තිබේ...එවන් Charge Controller පලමුව 12V හෝ 24V බැටරියට සම්බන්ද කිරීමෙන් Charge Controller උපකරණය විසින් ස්වයංක්‍රීයව 12V  හෝ 24V මාදිලියට පත්වනවා...එම හැකියාව පවතින Charge Controller වල විස්තර  පත්‍රිකාවේ ඒ බව සඳහන් වනවා...
බැටරියක් අාරෝපණය කිරීමේදී Charge Controller උපකරණය ක්‍රියාත්මක වන ආකාරය
සාමාන්‍යයෙන් 12V බැටරියක් ආරෝපණය කිරීමට 13V-14V ක පමණ වෝල්ටීයතාවයක් අවශ්‍යයි...Charge Controller උපකරණය මගින් බැටරිය ආරෝපණය කිරීමට අවශ්‍ය වෝල්ටීයතාවය නියාමනයකින් යුතුව බැටරිය වෙත ලබා දෙනවා...ඒ නිසා අධිවෝල්ටීයතාවයන්ගෙන් බැටරිය ආරක්ෂා කරගන්න පුළුවන්...ඒ වගේම බැටරිය සම්පූර්ණයෙන්ම ආරෝපණය වු පසු බැටරිය සූර්ය කෝෂයෙන් විසන්ධි කිරීම හෝ සූර්ය කෝ‍ෂයෙන් ලැබෙන ධාරාව පාලනය කිරීමත් Charge Controller මගින් සිදු කරනවා...එමගින් බැටරියේ ආයුකාලය වැඩි කරගන්න පුළුවන්...
බැටරියක් විසර්ජනය  කිරීමේදී Charge Controller උපකරණය ක්‍රියාත්මක වන ආකාරය
‍බැටරිය ආරෝපණය වූ පසු අපට අවශ්‍ය කරන උපකරණ බැටරිය ආධාරයෙන් ක්‍රියාත්මක කිරීමේදි බැටරිය විසර්ජනය වේ...සාමාන්‍ය කාර් බැටරියක් හෙවත් Lead-Acid බැටරියක් සම්පූර්ණයෙන්ම විසර්ජනය කිරීම නොකල යුතුය...එසේ කිරීමෙන් නැවත ආරෝපණය කිරීමේ හැකියාව අවම වනවා මෙන්ම බැටරියේ ආයුකාලය සීඝ්‍රය‍ෙන් අඩුවේ...(නමුත් සූර්ය කෝෂ පද්ධති සඳහාම භාවිතා කරන Deep Cycle බැටරියක් නම් සම්පූර්ණයෙන්ම විසර්ජනය කර නැවත ආරෝපණය කිරීමේ හැකියාව පවතියි...) Charge Controller භාවිතයෙන් බැටරිය සම්පූර්ණයෙන්ම විසර්ජනය වීම වලක්වා ගන්න පුළුවන්...එමගින් බැටරිය අර්ධයක් පමණ විසර්ජනය වූ පසු , ස්වයංක්‍රීයව Charge Controller මගින් බැටරියෙන් විදුලි උපකරණ වෙත යන ප්‍රතිදාන සැපයුම විසන්ධි කරයි...එමගින් බැටරිය සතු මුළු ආරෝපණ ප්‍රමාණයම ලබාගත නොහැකි නිසා ඇම්පියර් පැය 95 (95Ah) හෝ ඊට වැඩි ධාරිතාවකින් යුතු බැටරියක් බාවිත කිරීම වඩාත්ම සුදුසුයි...එවිට 50Ah පමණ ධාරිතාවක් අපට භාවිතා කල හැකියි...එසේ නොමැතිව 35Ah වැනි බැටරියක් යෙදුවහොත් අපට භාවිත කළ හැකි වන්නේ 20Ah තරම් සුළු ධාරිතාවක්...Charge Controller භාවිත කිරීමේ තවත් වාසියක් නම් ප්‍රතිදාන පරිපථයේ ලුහුවත් වීමක් සිදුවුවහොත් Charge Controller මගින් ප්‍රතිදාන පරිපථය ස්වයංක්‍රීයව විසන්ධි කිරීමයි...එවිට ප්‍රතිදාන පරිපථයත් බැටරියත් යන දෙකම ආරක්ෂා වේ...

මේ අනූව Charge Controller භාවිතයෙන් වාසි රැසක් අත්වෙනවා...ඒ වගේම LED දර්ශක මගින් බැටරියේ තත්වය ඇතුලුව තවත් දත්ත ලබාගැනීමේ හැකියාවද ලැබෙනවා... බොහෝමයක් Charge Controller වල LED දර්ශක ක්‍රියාකරන්නේ එකම අයුරින්...
ඉහත රූපයේ දැක්වෙන පරිදි (1) , (2) , (3) අංක වලින් LED දර්ශකද (A) , (B) , (C) අක්ෂර වලින් ඒ ඒ දර්ශකය මගින් නිරූපණය වන දත්තයද දැක්වේ...





  • (A) හි සඳහන් කොළපැහැයෙන් යුතු තනි ඉරට අනුරූපව (1) හි දැක්වෙන LED දර්ශකය දිගින් දිගටම දැල්වේ නම් සුර්ය කෝෂයෙන් සුදුසු වෝල්ටීයතාවයක් ලැබේ...
  • (A) හි සඳහන් කොළපැහැයෙන් යුතු කැඩි ඉරට අනුරූපව (1) හි දැක්වෙන LED දර්ශකය නිවි නිවී දැල්වේ නම් සුර්ය කෝෂයෙන් අධිවෝල්ටීයතාවයක් ලැබේ...
  • (B) හි සඳහන් කොළපැහැයෙන් යුතු කැඩි ඉරට අනුරූපව (2) හි දැක්වෙන LED දර්ශකය නිවි නිවී දැල්වේ නම් බැටරිය සම්පූර්ණයෙන්ම ආරෝපණය වී ඇත...
  • (B)හි සඳහන් කොළපැහැයෙන් යුතු තනි ඉරට අනුරූපව (2) හි දැක්වෙන LED දර්ශකය දිගින් දිගටම කොළපැහැයෙන් දැල්වේ නම් බැටරියේ ආරෝපණය සාමාන්‍ය මට්ටමක පවතියි...බැටරියේ ආරෝපණය 60% ක් දක්වා අඩු වන තෙක්ම මෙම සාමාන්‍ය තත්වයේ පවතියි...
  • (B)හි සඳහන් තැඹිලිපැහැයෙන් යුතු තනි ඉරට අනුරූපව (2) හි දැක්වෙන LED දර්ශකය දිගින් දිගටම තැඹිලිපැහැයෙන් දැල්වේ නම් බැටරියේ ආරෝපණය දුර්වල මට්ටමක පවතියි...බැටරියේ ආරෝපණය 40% සිට 20% ක් දක්වා අඩු වන තෙක්ම මෙම දුර්වල තත්වයේ පවතියි...
  • (B)හි සඳහන් රතුපැහැයෙන් යුතු තනි ඉරට අනුරූපව (2) හි දැක්වෙන LED දර්ශකය දිගින් දිගටම රතුපැහැයෙන් දැල්වේ නම් බැටරියේ ආරෝපණය අවම මට්ටමක පවතියි...බැටරියේ ආරෝපණය 20% ට අඩු වන විට අවම තත්වයේ පවතියි...
  • (C) හි සඳහන් රතුපැහැයෙන් යුතු තනි ඉරට අනුරූපව (3) හි දැක්වෙන LED දර්ශකය රතු පැහැයෙන් දිගින් දිගටම දැල්වේ නම් නියමිත ආකාරයෙන් ප්‍රතිදාන සැපයුම පවතිනවා...
  • (C) හි සඳහන් රතුපැහැයෙන් යුතු දිගු කැඩි ඉරට අනුරූපව (3) හි දැක්වෙන LED දර්ශකය රතු පැහැයෙන් දිගු කාල පරාස සහිතව නිවි නිවී දැල්වේ නම්  ප්‍රතිදාන සැපයුමේ අධිභාරයක්(Overload) පවතිනවා...
  • (C) හි සඳහන් රතුපැහැයෙන් යුතු කෙටි කැඩි ඉරට අනුරූපව (3) හි දැක්වෙන LED දර්ශකය රතු පැහැයෙන් කෙටි කාල පරාස සහිතව නිවි නිවී දැල්වේ නම්  ප්‍රතිදාන සැපයුමේ ලුහුවත් වීමක් හෝ ඉතා අධික  අධිභාරයක්(Overload) පවතිනවා...

    ඉතිං Solar Charge Controller උපකරණයක් මිලදී ගැනීමටත් භාවිත කිරීමටත් ඉහත සඳහන් කරුණු ප්‍රමාණවත් යැයි හැඟෙන බැවින් තවත් අලුත් පෝස්ට් එකක් සමග හමුවන අදහසින් අදට සමුගන්නවා....
    ඉතින් මගේ දෙවන පෝස්ට් එකේ අපැහැදිලි තැන්,ප්‍රශ්ණ ගැටළු, යෝජනා චෝදනා හැමදෙයක්ම කමෙන්ට් එකක් විදිහට දාල යන්න....එය මටත් ඉදිරියේද පලවන පෝස්ට් වලටත් මහත් රුකුලක් වේවි....
                                                                                                                    ඔබ සැමට ජය   !!!

    Sunday, May 11, 2014

    ෴සූර්ය බල පද්ධතියක හදවත බඳු සූර්ය පැනල෴

                  ලින් පෝස්ට් එකේ කිව්ව විදිහට සූර්ය බල පද්ධති පිලිඹඳව කරන පුළුල් හැදින්වීමේ පලමු කොටස...ඉතින් බ්ලොග් එකේ මුල්ම පෝස්ට් එක සූර්ය කෝෂ ගැන ලියන්න හිතුව...වෙන මොනව තිබුණත් වැඩක් නෑනේ සෝලා පද්ධතියකට සෝලා පැනල් එකක් නැත්නම්...ඒ වගේම තමයි සාමාන්‍ය සෝලා පද්ධතියක මිල අධිකම කොටස තමයි සූර්ය පැනලය...එනමුත් නියමිත ප්‍රමිතීන්ට අනුකූලව නිමැවුණු  සූර්ය පැනලයකින් අවුරුදු 20 ක් 25ක් තරම් දිගු කාලයක් වැඩ ගන්න පුළුවන්...ඒ නිසා සෝල පද්ධතියක් සවිකර ගැනීම දිගු කාලීන ආයෝජනයක්...ඒත් මූලික වියදම අධික නිසා බොහෝ දෙනෙක් සෝලා පද්ධති ගැන දක්වන්නේ සෘණාත්මක ආකල්ප...එයිනුත් වැඩි දෙනෙක් කියන්නේ සෝලා පද්ධතියක් සවිකරගන්න යන වියදමින් අවුරුදු කීයක්නම් විදුලි බිල ගෙවන්න පුළුවන්ද කියන එක...අතීතයට ඒ මතය යම්තාක් දුරට සාධාරණ වුවත් අනාගතයට නම් කිසිසේත්ම අදාල නොවේවි...!

                     ප්‍රධාන වශයෙන්ම පොලික්‍රිස්ටලයින් සහ මොනෝක්‍රිස්ටලයින් ලෙස සෝල පැනල් වර්ග දෙකක් තියනවා...මේවයින් ලංකාව වගේ උෂ්ණාධික රටවල් වලට ගැලපෙන්නේ පොලික්‍රිස්ටලයින් සෝලා පැනල්...මෙම පොලික්‍රිස්ටලයින් සෝලා පැනල් නිල් පැහැයෙන් යුතු වෙනව...මොනොක්‍රිස්ටලයින් පැනල් වලට සාපේක්ෂව පොලික්‍රිස්ටලයින් සෝලා පැනල් මිලෙන් අඩු අතර අධික සූර්යතාපය හමුවේත් උපරිම කාර්යක්ෂමතාවයකින් ක්‍රියාකිරීමේ හැකියාව පවතිනවා...නිර්දේශිත පරිසර තත්ව යටතේ මොනෝක්‍රිස්ටලයින් පැනල් වල කාර්යක්ෂමතාව වැඩි වුවද අධික උෂ්ණත්වයේදී එහි කාර්යක්ෂමතාව පොලික්‍රිස්ටලයින් සෝලා පැනල් වලට අඩු වන බැවින් පොලික්‍රිස්ටලයින් සෝලා පැනල් වඩාත්ම සුදුසු බව මගේ මතයයි...
                       
                      සෝල පැනල් එකක් මිලදි ගන්නවනම් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකුත් තියනව...


    1. ප්‍රධානතම කරුණ මම කලින්ම කිව්ව... පොලික්‍රිස්ටලයින්ද මොනෝක්‍රිස්ටලයින්ද කියල හොයල බලන්න ඕනේ...
    2. ඊළඟට බලන්න ඕනේ වෝල්ටීයතාවය...ප්‍රතිදාන වොට් අගයටත් වඩා වෝල්ටීයතාවය වැදගත්...අපි සෝලා පැනල් එකට සවිකරන්න බලාපොරොත්තු වෙන ඉන්වර්ටර්, චාර්ජ් කොන්ට්‍රෝලර් වැනි උපකරණ වල බහුලවම භාවිත වන වෝල්ටීයතාවයන්ට ගැලපෙන වෝල්ටීයතාවයකින් යුතු සෝලා පැනල් එකක් මිලදී ගන්න ඕනේ...විවිධ වෝල්ටීයතාවයන්ගෙන් යුතු සෝලා පැනල් තිබුණද බහුලවම දැකිය හැකි වන්නේ 12V ,18V සහ 30V ආදී වශයෙන්....12V වලින් ලබාගත හැකි බොහෝමයක් සෝලා පැනල් 50W හෝ ඊට අඩු වොට් අගයකින් යුක්තයි....එමෙන්ම 18V වලින් ලබාගත හැකි සෝලා පැනල් 200W ට අඩු අතර ප්‍රතිදානය 200W ට වැඩි සෝලා පැනල් බොහෝ විට 30V ක වෝල්ටීයතාවකින් යුක්තයි...
    3. අනෙක් වැදගත්ම කරුණ තමයි ප්‍රතිදාන වොට් අගය...1W සිට 300W අතර වොට් අගයයන් විශාල ප්‍රමාණයකින් සෝලා පැනල් ලබාගත හැකිය...ඊටත් වැඩි ප්‍රතිදාන වොට් අගයයන්ගෙන් යුතු සෝලා පැනල් තිබුණද හැසිරවීමේ පහසුව තකා 300W ට අඩු සෝලා පැනල් වැඩි වශයෙන් භාවිතා වේ...
    4. වෙළඳපොලේ භාවිත කරන ලද සෝලා පැනල් අඩු මිලට ලබා ගැනීමේ හැකියාවත් දැන් තියනව...එහිදී දැනුවත් විය යුතු දෙයක් තමයි සෝලා පැනල් එක කොපමණ කාලයක් භාවිතා කරල තියනවද කියන දේ...ඒ වගේම නියමිත වෝල්ටීයතාවය ලැබෙනවද කියන එක....උපරිම වෝල්වීයතාවේත් සෝලා පැනල් එකෙන් ලැබෙන උපරිම ධාරාවේත් ගුණිතය සෝලා පැනල් එකේ උපරිම ප්‍රතිදාන වොට් අගය හෝ ඊට ආසන්න අගයක් වීමත් වඩා වැදගත් වෙනවා...
    ඒ වගේම ගෙදරදිම අත්දැකීම් රාශියක් සමග අඩු වියදමකින් සෝලා පැනල් එකක් සාදා ගැනීමේ හැකියාවත් තියනවා...සම්පූර්ණ සෝලා පැනල් එකක් සාදා ගන්න ආකාරය පහත වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්....සාදාගන්නා ආකාරය සිංහලෙන්ම ඉගෙනගන්න පුළුවන්...වීඩියෝ එකත් මගේම නිර්මාණයක්...


    ඉතින් මගේ මුල්ම පෝස්ට් එකේ අපැහැදිලි තැන්,ප්‍රශ්ණ ගැටළු, යෝජනා චෝදනා හැමදෙයක්ම කමෙන්ට් එකක් විදිහට දාල යන්න....එය මටත් ඉදිරියේද පලවන පෝස්ට් වලටත් මහත් රුකුලක් වේවි....
                                                                                                                    ඔබ සැමට ජය   !!!

    Saturday, May 3, 2014

    ෴ඇරඹුම මෙලෙස සටහන් විය ෴

    ෴෴෴ ආයුබෝවන්෴෴෴

     එහෙනම් ඔන්න මමත් බ්ලොග්  එකක් ලියන්න පටන් ගත්ත...බ්ලොග් කියල දෙයක් තියනව කියල දැනගෙන 2011/11/2 වෙනිද බ්ලොග් එකක් හදල මගෙම ෆොටෝ එකක් පලවෙනි පෝස්ට් එක විදිහට දාල පටන් ගත්තු බ්ලොග් කෙරුවාව එදාම අහවර වුණේ ලියන්න දෙයක් නැතිකමයි සිංහලෙන් කොටන්න තියන කම්මැලිකමයි හින්ද...

    අවුරුදු 3ක් තිස්සේ එහෙම තිබුන බ්ලොග් එක මේ විදිහට ආයෙම ලියවෙන්නේ හොදට නරකට දෙකටම තියන ෆේස්බුක් සමාජය නිසා...විශේෂයෙන්ම කියනවනම් 

     අපි සතු ඉලෙක්ට්‍රොනික් සහ පරිගණක දැනුම බෙදාගමු


    ෆේස්බුක් සමූහයේ ක්‍රියාකාරී මිතුරු මිතුරියන් නිසා...
    ඉතින් මේ විදිහට ආරම්භ වන බ්ලොග් එකේ මූලික වශයෙන්ම තාක්ෂණික  ලිපි , ඒ හා සම්බන්ධ ගැටළු බොහෝමයක් ඉදිරියේදී පලවේවි...ඒ අතරිනුත් ප්‍රධාන වශයෙන් සූර්ය කෝෂ හා ඊට අදාල වන අනෙකුත් උපාංග ගැන ලිපි පළ කරන්න අදහස් කරනව....ඒ වගේම ඔයාලගේ අදහස් ඊට එකතු කරන්න වගේම වැරදි අඩුපාඩු පෙන්නල දෙන්නත් අවස්ථාව තියනව...ඉතින් අදට සමුගන්නව ළගදීම අළුත් ලිපියක් සමග නැවත හමුවන අදහස ඇතුව...ඔබ සැමට ජය!!!